Thursday, December 25, 2014

ෂර්ලොක් හෝම්ස් සහ සමන්මලී සකල සූරිය

බේකර් වීදියත් මුලු මහත් ලන්ඩනයත් සීතලෙන් ගිලී තිබූ සවසක මම ෂර්ලොක් හෝම්ස් සමඟ ගිනි උඳුන අසලට වී කතා බහක නිරත වී සිටියෙමි.

"හෝම්ස්.. ඔබ මෙච්චර කාලෙකට මාත් එක්ක කියලා නැහැ ශ්‍රී ලංකාව කියන පුංචි රට එක්ක මේ තරම් ගනුදෙනු කරන්න පෙලඹුනේ කොහොමද කියලා."

සෑහෙන කාලයක් තිස්සේ හිතට වද දුන් පැනයකින් මම කතාව ඇරඹීමි. හෝම්ස් පයිප්පය ඇද දුම් වලල්ලක් පිට කලේය.

"ඒක සම්පූර්ණයෙන් අහම්බයක් මගේ මිත්‍රයා. මේක සිද්ධ උනේ ටික කාලෙකට කලින්. මම අහම්බෙන් දැක්කා ශ්‍රී ලංකාව කියන රටේ රජයේ සේවකයෙක් ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගී වෙන්න බැරි වීමේ පශ්චත්තාපයෙන් තමන්වම ගස් බැඳ ගැනීමේ සිද්ධියක්. "

"ඔය කියන්නේ අර කුප්‍රකට සිද්ධිය ගැන නේද හෝම්ස්. ඒ වුනාට කැමරා වල පැහැදිලිවම සටහන් වෙලා තිබුනා සත්‍ය සිදුවීම. ඔහු තමන්ව ගස් බැඳගෙන තිබුනේ නෑ"

"හරියට හරි වොට්සන්. ඒත් පහුවදා ඒ මහත්මයාම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා තමන් තමන්වම ගස් බැඳගත්ත බව."

"මේක මහ හතර බීරි කතාවක්නේ හෝම්ස්."

"අන්න ඔය හතර බීරි කතා විශ්වාස කරන මිනිස්සු ඉන්න හින්දාම තමයි වොට්සන් මම මගේ පර්යේෂණ වලට ලංකාව භාවිතා කරන්න කැමති. මේ මිනිස්සු මහ අමුතුම ජාතියක්. ඔවුන් කිසිම කාරණයක් ගැන ගැඹුරට හිතන්නේ නෑ. බැලූ බැල්මට බොරු කියලා පේන බොහෝ දේවල් ඔවුන් කිසිම ගැටලුවකින් තොරව විශ්වාස කරනව විතරක් නෙමෙයි, තමන් වටේ ඉන්න අයවත් ඒ බොරුවෙන්ම රවට්ටනවා. "

" මගේ ප්‍රශ්නෙට හරි උත්තරයක් ලැබුනේ නෑ හෝම්ස්. ඔබ කොහොමද ලංකාව එක්ක සම්බන්දකම් ඇති කරගත්තේ? "

"පොඩ්ඩක් ඉවසන්නකෝ මගේ මිත්‍රයා. මේ සිද්ධියෙන් මේ රටේ මිනිස්සු ගැන මට ලොකු කුතුහලයක් ආවා. ඔබ දන්නවනෙ වොට්සන් මේ අන්තිම කාලේ සසෙක්ස් වල මී මැසි පාලනය කරන්නයි මට ඕනි වෙලා තිබුනේ. ඒත් මට හිතුනා මේ අපූරු රටේ මිනිස්සු ගැන පොඩි පර්යේෂණයක් කරන්න. මේක කරන්නේ කොහොමද කියලා හිත හිත ඉද්දි වාසනාවට මාව හම්බෙන්න ආවා ලංකාවේ මහත්මයෙක්. ඔහුගේ නම අජිත් රෝහණ"

"මොනවා හෝම්ස් මේ අර ප්‍රසිද්ධ....."

මා විශ්මයෙන් ඇලලී ගියෙමි.

"හරියට හරි වොට්සන්. ඔහු තමයි. මේ හාදයා එක්ක බලපුවම ලෙස්ට්‍රේඩ්, ග්‍රෙග්සන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මිත්‍රයා. ඔහු මගෙන් ඉල්ලුවේ බොහොම පහසු උදව්වක්. "

"අනුමානයක් නෑ. ඔහු කියන්න ඇති අර කහවත්තේ භූත කේස් එකට අත දාන්න කියලා"හෝම්ස් හිස දෙපසට වැනීය.

"මමත් ඔහුව දැක්කම හිතුවේ නම් එහෙම තමයි වොට්සන්. අන්න එදා නම් මට වැරදුනා. ඔහු ඇවිත් තිබුනේ පාතාල මර්දනයට මගෙන් උදව් ගන්න."

"පුදුම වෙන්න දෙයක් නෑ හෝම්ස්. මොරියාටිටයි ඔහුගේ ගෝලයොන්ටයි වෙච්ච දේ ඔහු අහලා තියෙන්න ඇති"

හෝම්ස් ලැජ්ජාවෙන් අහක බැලීය.

"ඔහුට ඕනි වුනේ අපරාධකාරයෙක් පොලීසියෙන් වෙඩි කෑවම මාධ්‍යවලට කියන්න විශ්වසනීය පිටපතක් මම ලව්වා ලියා ගන්න. මට හිතුණා මිනිස් මනස ගැන මම අතරමග නතර කරපු පර්යේෂණය නැවත අරඹන්න මේක හොඳම අවස්ථාවක් කියලා වොට්සන්. මම ඔහුට දුන්නා එකිනෙකට වෙනස් පිටපත් 50 ක කට්ටලයක් "

මට සිනහා පහල විය.

"පිටපත් 50ක්. හැබැයි මම දන්න තරමින් නම් වැඩේ ටිකක් චොර වුනා හෝම්ස්."

මගේ මිත්‍රයා දත් කූරු සපන්නට විය.

"චොර වුනා නෙමෙයි වොට්සන්. චොර කරගත්තා. කම්මැලිකමට රෝහණ මහත්තයා පාඩම් කරගත්තේ ආයුධ පෙන්නන පිටපතයි, වැවට පනින පිටපතයි විතරයි. මේ දෙක මාරුවෙන් මාරුවට කියන්න ගත්තයින් තමයි මගේ මහන්සිය අපතේ ගියේ "

හෝම්ස් දිග සුසුමක් හෙලුවේය. නිවස ඉදිරිපිට මෝටර් රථයක් නවතන හඬද අමුත්තෙකු හඩ්සන් මහත්මිය හා කථා කරන හඬද ඇසෙන්නට විය. හෝම්ස් සිය දෙපා ගිනි උඳුනට ලං කලේය.

"සූදානම් වෙන්න දොස්තර මහත්තයා. අපි අමුත්තෙක් මුන ගැහෙන්නයි යන්නේ."

තරප්පු පෙල නැග එන අමුත්තාගේ පියවර හඬ ක්‍රමයෙන් ප්‍රබල වී ප්‍රධාන දොර ඉදිරියේ නතර වන හඬ ඇසිණි.

"පියවර හඬේ හැටියට නම් තරබාරු මිටි කෙනෙක් විය යුතුයි වොට්සන්"

හෝම්ස් පවසනවාත් සමගම කිසිදු දැනුම් දීමකින් තොරවම අමුත්තා කාමරයට අතුලු විය. හෝම්ස් පැවසූ පරිදිම මිටි තරබාරු පුද්ගලයෙකු වූ ඔහුගේ මුහුණේ තැනින් තැන නොමැකුණු කුරුලෑ කැළල් දක්නට ලැබුණි.

මට වැඩිදුර නිරීක්ෂණයකට ඉඩ නොතබාම හෝම්ස් අමුත්තාට සිය සුරත දිගු කලේය.

"උදව් කිරීමට ලැබීම සතුටක් මහත්මයා. මම ෂර්ලොක් හෝම්ස්"

අමුත්තා නිහඬවම තම විසිටින් කාඩ් පත හෝම්ස් අත තැබීය. එය කිය වූ හෝම්ස්ගේ පුලුල් නළල් තලය රැළි වැටෙනු පෙනුණි.

"ඔබයි එතකොට ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති "

එවර අමුත්තා ප්‍රීතියෙන් පිනා ගියේය.

"විමලේ මොන තරම් වර්ණනා කලත් ඔබ මේ තරම් දක්ෂයෙක් බව මම හීනෙන්වත් හිතුවේ නෑ හෝම්ස් මහත්තයා, ඔබ මගේ බාහිර ස්වරූපය නිරීක්ෂණයෙන් මම ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති බව කිව්වා. අති විශිෂ්ඨයි. ඔබ හමුවෙන්නට ලැබීමත් ගෞරවයක්.ඇත්තෙන්ම මම කැමතියි ඔබ ඒ නිගමනයට ආපු ආකාරය දැනගන්න "

හෝම්ස් මද සිනහවක් පෑවේය.

"ඒක ඒ තරම් අමාරු වුනේ නෑ මහත්මයා. මේ විසිටින් කාඩ් එකේ ඒ බව අපූරුවට මුද්‍රණය කරලා තියෙනවනේ"

හෝම්ස්ගේ ප්‍රකාශයෙන් අමුත්තාගේ මුහුණ රත් පැහැ ගැන්වුනි. කලබලයෙන් වට පිට බැලූ ඔහු හෝම්ස් වෙත නැඹුරු විය.

"මම ලොකු කරදරේක වැටිලා හෝම්ස් මහත්තයා. මට ඔබේ උදව් අවශ්‍යයි"

"වාඩිවෙන්න මහත්මයාණෙනි. මමත් මගේ මිත්‍ර වොට්සනුත් ලංකාවට උදව් කරන්නේ හරිම කැමැත්තෙන්. "අමුත්තා පුටුවේ වාඩි වී කතාව ඇරඹීය.

"ඇත්තම කියනවනම් මගේ කට ඒ තරම් හොඳ නෑ මහත්වරුනි. මම වතාවක් අධිකරණයට අපහාස කරලා හිරෙත් ගිය මිනිහෙක්"හෝම්ස් අමුත්තාට බාධා කළේය.

"ඔබ කියන්නේ ලංකාවේ අධිකරණයක් තියෙනවා කියලද මිත්‍රයා. මම කිසිදාක ඒ බවක් දැන සිටියේ නැහැ. හොඳයි. ඔබේ කතාව කියන්න"

අමුත්තා ලේන්සුවක් ගෙන හොටු සූරන්නට විය.

"හිරේ දැම්මත් මාව හදන්න බැරි උනා. මම හැදුණෙත් නෑ. මම ආසම ගෑණු නිරුවත් කරලා පාරේ ඇවිද්දන කතා කියන්න. කැම්පස් කොල්ලොන්ට මැස්සො කැරපොත්තො කියන්න. කවුරුත් නොකියන කසඩ කතා කිව්වම ඒවා ටීවී චැනල් වල ලොකුවට දානවා. පත්තරකාරයෝ පිටු පිරෙන්න ඉන්ටවිව් ගන්නවා. ඒ දවස් වල නම් ලොක්කා කතා කරලා සුබ පතනවා නියමයි බණ්ඩේ මල් හතයි බල්ටි දහයයි කියලා. ඒත් මෙදා පාර..."

අමුත්තා සුදුමැලි වී ඉකිගසන්නට විය. අප දෙදෙනා මහත් අපහසුතාවයට පත් වීමු.

"වොට්සන් බ්‍රැන්ඩි ස්වල්පයක් දෙමු "
ඔහු හෝම්ස් ගෙන ආ බ්‍රැන්ඩි බෝතලය දුටු විගසම කටේ තියාගෙන අමුවෙන්ම බාගයක් ගැසුවේ කිසිදු අපහසුතාවයකින් තොරවය.

"දැන් මට පහසුයි මහත්වරුනි. ඔබතුමන්ලා දන්නවා ඇතිනේ, මේ දවස්වල ඡන්දේ. මේ පාරත් මම නිරුවත් කතාවක් කිව්වේ ලොක්කගෙන් එක දාගන්න, මම හිතුවේ ලොක්ක මට සුපිරි බණ්ඩේ තව එකාක් කියයි කියලා. "

"ඇයි එහෙම උනේ නැද්ද?"අමුත්තා දුක් මුසුව බිම බලා ගත්තේය.

"නෑ හෝම්ස් මහත්තයා. මේ පාර වැදුනා කන රත් වෙන්න. තෝ වචනයක් කිව්වොත් මගේ ඡන්ද පහක් කැඩෙනවා නිකන් දෙන් නැතුව කට වහන් හිටු කියලා මට බැන්නා හෝම්ස් මහත්තයා, අම්මපා "

අපි අනුකම්පාවෙන් ඔහු දෙස බලා සිටීමු.

"ඉතින් මගෙන් මොකක්ද ඕනි උදව්ව?" හෝම්ස් විමසීය.

"මේක ෂේප් වෙන්න ප්ලෑනක් ගහලා දෙන්න දෙයියෝ. පණ වුනත් දෙන්නම්. ඔහේ අඳුරන පොඩි උන් ඉන්නවනම් ලංකාවේ කැම්පස් වලට දාලා මාසෙට 50000 ක් දීලා උගන්නලා එවන්නම්"

හෝම්ස් විනාඩි 10 ක් පමණ කල්පනා කළේය.

"ඔහේගෙ පොල් කිච්චෝ්ෂේ ඇහැට කණට පේන ගෑණු ළමයෙක් ඉන්නවද?"

"අය්යෝ හෝම්ස් මහත්තයා, හිරුණිකා ගියා. අනාර්කලී ඇමෙරිකා ගියා. ගීතා වයසයි. ආ... හරි... සමන්මලී කෙල්ල ඉන්නවා හෝම්ස් මහත්තයා. ඇයි?"

"එහෙනම් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා මම ලියලා දෙන ටික කට පාඩම් කරලා කියන්න කියලා ඒ ළමයට දෙන්න. වැඩේ ගොඩ යයි."හෝම්ස් ලියන්න ගත්තේය. මම හොරෙන් ඒ දෙස බැලුවෙමි. 'නිරුවත එක එක විදිහට ඉන්ටප්‍රිට් කරන්න පුලුවන්.....' හෝම්ස් ලියාගෙන ගොස් කොලය අමුත්තා අතට දුන්නේය.

"මේකෙන් වැඩේ ගොඩ යයිද හෝම්ස් මහත්මයා?"

"බයවෙන්නෙපා. ටික දවසක් යද්දි ඔක්කොටම ඔහේ කියපු එක අමතක වෙයි. ඔක්කොම එකතු වෙලා සමන්මලීට බනියි. ටික දවසකින් ඒකත් අමතක වෙයි"

"බොහොම ස්තුතියි හෝම්ස් මහත්තයා"

අමුත්තා නික්ම ගියේය. කෙසේ වෙතත් හෝම්ස්ගේ සමාජ විද්‍යාත්මක පර්යේෂණ සඳහා අහිංසක දැරිවියක් යොදා ගැනීම ගැන මට ඇති වූයේ තරමක අප්‍රසාදයකි.

************************************************** **********************************

හිතේ ඇති වූ කළකිරීම මදක් පහ වන තුරු සිට තෙදිනකට පසු මම නැවත හෝම්ස් හමුවීමට ගියෙමි. ඔහු සිය පරිගණකය ඉදිරියේ හිඳ සිටි නිසා මම පුවත්පතක් අතට ගතිමි.

"ආ වොට්සන්, සමාජ විද්‍යාව හරිම විනෝදජනක විෂයක්. මම මේ දවස්වල ලංකාවේ කුණුහරුප පිලිබඳ හැදෑරීමක් කරනවා."

"එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම ඔය බලනවා ඇත්තේ ලංකාවේ උගතෙක් ඒ ගැන ලියපු බ්ලොග් පිටුවක් වෙන්නැති"

හෝම්ස් මහා හඬින් සිනාසුනි.


"පිස්සුද වොට්සන්..මේ සමන්මලී සකලසූරිය ළමයගේ ෆේස්බුක් පේජ් එක" 

ෂර්ලොක් හෝම්ස් - ත්‍රයි ලෝක විජය පත්‍ර සහ වීරවංශ

සෑම වසරක දෙසැම්බර් මාසය යනු ලන්ඩනය බොහෝ දුරට අක්‍රිය වන මාසයයි. මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස්ට අනුව නම් මේ අපරාධකරුවන් පවා කම්මැලියන් වන සීතල මාසයයි. මෙය බොහෝ දුරට සත්‍යයක් බව අපගේ පැරණි අපරාධ පරීක්ෂණ වාර්තා පිරික්සීමෙන් පෙනී යයි. මෙවැනි කාල සමයන්හි මගේ මිත්‍රයා කාලය ගෙවන්නේ එතරම් සතුටකින් නොවේ. පුටුවකට බර දී දුම් පයිප්පය උරමින් සිටීමට ඔහු කැමති වන්නේ මොලය වෙහෙසීමට ගැටලුවක් ඇත්නම් පමණි. අපරාධ නැති තැනක ෂර්ලොක් හෝම්ස් කෙනෙකුගෙන් පලක් නැති බව ඔහු නිතරම පවසන වැකියකි. මේ සීතලේ වුවද හෝම්ස් බැලීමට යාමට මට සිතුනේ පසුගියවර ශ්‍රී ලංකාවට ගොස් පැමිණි පසු ඔහු දැඩි කනස්සල්ලෙන් සේම යම් සසල වීමකින් සිටි බව සිහි වීමෙනි.
බේකර් වීදියේ සුපුරුදු නවාතැනට පැමිණි මා දුටුවේ දුම් පයිප්පය, දුම සහ පුටුවක බර දී උදාසීනව සිටින මගේ මිත්‍රයාය. ඔහු වටා වූයේ දිනමිණ පුවත්පත් කීපයකි.
"හෝම්ස්, දැන් ඔබ උපන් රටටත් වඩා ලංකාවට ලං වෙලා වගේ" මා පැවසූයේ පුවත්පත දෙසට ඉඟි කරමිනි.
"ලංකාව කොහොම නම් අමතක කරන්නද වොට්සන්, තණමල්විල පුෂ්පේ මුදලාලිගේ බඩු වලින්නෙ මේ කම්මැලි දවස් ටික ඇදගන්නේ.. ඒක නෙමෙයි වොට්සන්, බලන්න මේකෙ හෙඩ්ලයින් එක මොන තරම් නිර්මාණාත්මකද, කලාත්මකද .
'සිරිසේනගේ දත් කහ පාටයි - විශේෂඥ දන්ත වෛද්‍යවරු එක හඬින් කියති ' "
මා පුවත්පත උඩින් පල්ලෙන් පෙරලා බැලීමි. මාගේ නිරීක්ෂණ හැකියාවද හෝම්ස්ට පෙන්විය යුතුය.
"ඒ විතරක්ද හෝම්ස් බලන්න. එයාලා රාජ්‍ය ලාංඡනේ හැම පිටුවකම දාලා"හෝම්ස් මා වෙත තියුණු බැල්මක් හෙලීය.
"රාජ්‍ය ලාංඡනේ ??? කෝ බලන්න"
"ඇයි හෝම්ස් මේ තියෙන්නේ උඩු රැවුල වවපු හාදයෙක් අත් දෙක උස්සන් ඉන්න ලාංඡනේ"හෝම්ස් අතිශය කින්ඩි බැල්මක් මා වෙත හෙලීය.
"අනේ අනේ වොට්සන් තමුසෙගෙ සාමාන්‍ය දැනීම නම් බින්දුවයි. මේ එහේ ජනාධිපතිතුමාගේ රූපේ "
ලැජ්ජාව මදක් අඩු වන තුරු වැඩිය කතා නොකර සිටීමට මම තීරණය කළෙමි. විනාඩි දෙකක් ගත වන්නට ඇත. කවුරුන් හෝ හඩ්සන් මහත්මිය හා කථා කරන හඬ ඇසුණි. හෝම්ස්ගේ ඇස් දීප්තිමත් වනු මම දුටුවෙමි. කිසිවෙකු තරප්පු පෙල නගින හඬ පැහැදිලිව ඇසෙන්නට විය.
"වැඩේ හරි වොට්සන්. කාට හරි අපිව ඕනි වෙලා වගේ"
කිසිදු දැනුම් දීමකින් තොරවම අමුත්තෙකු කාමරයට ඇතුල් විය. ඔහු අප දෙදෙනා දෙස බැලුවේ තරමක් කපටි සහගත බැල්මකි. මුහුන පුරා වැවූ රැවුල සේම පිටුපසට පීරූ කොන්ඩය මට චේගුවේරා සිහිකලද ක්‍රමයෙන් ඉදිරියට එන උදරය දුටු විට ඒ අදහස මසිතින් මැකී ගියේය.
"ඔබ දෙදෙනාගෙන් කවුද ෂර්ලොක් හෝම්ස්? මම ශ්‍රී ලංකාවෙන්."මගේ මිත්‍රයා මදක් පුටුවෙන් නැගිට්ටවෙන අයුරු මම පැහැදිලිව දුටුවෙමි.
"ෂර්ලොක් හෝම්ස් කියන්නේ මටයි මිත්‍රයා. ඔබ ආ කාරණය කියන්න කලින් ඔබ ගැන පුංචි අනාවැකියක් කියන්න මට ඉඩ දෙන්න. ඔබ පොඩි කාලේ ඉඳන් තරුණ වියේ යම් කාලයක් ගතවෙන තුරු අතිශය දුෂ්කර ජීවිතයක් ගෙවලා තියෙනවා. නමුත් වාසනාවකට ඔබට මෑත කාලයේ දී පොහොසත් කාන්තාවකගේ ස්වාමියා වීමේ භාග්‍යය උදා වෙලා. ඔබ තවමත් ‍යැපෙන්නේ ඔබේ බිරිඳගේ වත්කම් වලින්. අවාසනාවකට වගේ ගෙදර බොහෝ වැඩ කරන්න වෙලා තියෙන්නේ ඔබටයි මිත්‍රයා. "
අමුත්තා විමතියෙන් ඇස් අයා හෝම්ස් දෙස බලා සිටී.
"ගෙදර රෙදි අපුල්ලන්නේ ඔබ, දර පලන්නේ ඔබ, පිරිසිදු කරන්නෙ ඔබ. ඒ විතරක්ද නෝනගේ බල්ලා නාවන්න වෙලා තියෙන්නෙත් ඔබටයි. මට පේනවා ඔබේ මුහුණේ විමතිය. කලබල වෙන්න දෙයක් නෑ. මේ ඔක්කොම මම කිව්වේ මා විසින් ප්‍රගුණ කල නිරීක්ශණ ශක්තියෙන්. බලන්න වොට්සන්, අපි ඉදිරියට එනවා මහත්තයෙක්. එයාගේ මුහුණේ රැවුලට යටින් තාමත් තියෙනවා අතීතයේ දුෂ්කර සලකුනු. හැබැයි ටිකෙන් ටික මූන තෙල් පාට වෙලා. උදරය නෙරාගෙන එනවා. මම හිතන විදිහට මේක ටිකක් මිල අධික වර්ගයේ ෂර්ට් එකක්. බලන්න මේ අත් දිහා, රෙදි සෝදන, දර පලන සලකුණු. නියපොතු ඇතුලේ බලු මවිල් ඉතිරි වෙලා. රෙදිසෝදන කෙනෙකුට මේ තරම් වටින ෂර්ට් අඳින්න අමාරුයි මගේ මිත්‍රයා. නිසැකවම ඔහු බැඳලා තියෙන්නේ ධනවත් කාන්තාවක්. මොකද කියන්නේ මිත්‍රයා? මම හරි නේද? " හෝම්ස් එක හුස්මට කියාගෙන ගියේය.
අමුත්තා දිග සුසුමක් පිට කරන හඬ ඇසුණි.
"දෙයියෝ සාක්කි හෝම්ස් මහත්තයා. මේ වතාවෙනම් ඔබට වැරදුනා. මම ලංකාවේ ඇමති කෙනෙක්. නම වීරවංශ. තණමල්විල පුෂ්පේ අයියා තමයි පොට් එක ගැන කිව්වේ "
හෝම්ස්ට කෙඳිරි ගෑවෙනු මට ඇසුණි. මා ඉදිරියේ දැඩි අපහසුතාවයකට ලක් වූ ලකුණු ඔහුගේ මුහුනේ විය.
"හොඳයි මහත්මයා. අපෙන් මොනවද කෙරෙන්න ඕනි" යටපත් කරගත් ලැජ්ජාවෙන් යුතුව හෝම්ස් විමසීය.
"හෝම්ස් මහත්තයා, මට ලැබිලා තියෙනවා ලියමනක්. මේක එවලා තියෙන්නේ බටහිර රටක සිට බව අපි හොයාගෙන තියෙනවා. නමුත් ප්‍රශ්ණේ කියන්නේ මේකේ තියෙන්නේ රහස් පණිවිඩයක්. මොකක් නමුත් භයානක අනතුරු ඇඟවීමක් බවයි මගේනම් අදහස."
හෝම්ස් මදක් කල්පනා කලේය.
"ඔබතුමා එක්ක බටහිර රටවල් තරහද? ".
වීරවංශ මහතාගේ මුවට සියුම් සිනහවක් නැගී එක සැනින් නැති වී යන අයුරු ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා සිටි මට කදිමට දර්ශනය විය.
"ඒ වතාවෙනම් ඔබතුමා හරි. මම තමයි රටට එරෙහි බටහිර බලවේග... එන්ජීඕ ක්‍රමන්ත්‍රණ.....අධිරාජ්‍යවාදී පිල්ලු.... ආර්ථික ඝාතකයෝ...කැප්පෙටිපොල... ඇහැලේපොල... පිලිමතලව්වේ " ඔහු කට පාඩම් කරගෙන සිටියාක් මෙන් අපිට නොතේරෙන අමුතුම භාෂාවකින් මොනවාදෝ කියවන්නට විය. මදකින් ඔහු නිහඬ වී ලැජ්ජාවෙන් අප දෙස බැලීය.
"සමාවෙන්න හෝම්ස් මහත්තයා. මට එක පාරටම හිතුනේ ස්ටේජ් එකක් උඩ ඉන්නවා කියලා. ඔබතුමා මොකක්ද මගෙන් ඇහුවේ? ආ... තරහයිදත් අහනවා. මම තමයි උන්දැලට ඉන්න ලොකුම අභියෝගේ. මම උන්ට පාඩමක් උගන්නලා මැරෙන්නම බලාගෙන උපවාසෙකුත් කලා. කොහෙද ලොක්කා ඇවිත් බලෙන් තැඹිලි පෙව්වනේ. කියන ගානක් ගෙවන්නම් හෝම්ස් මහත්තයා." වීරවංශ මහතා වටපිට බලා හඬ අඩු කලේය.
"ඕනිනම් අලුතෙන් ෆ්ලැට් එකක් ගහන්න කොන්ත්‍රාත් එකකුත් අරන් දෙන්නම්. මට මේකෙ තේරුම හොයලා එවන්න "එවර හෝම්ස් තම හඬ අවදි කලේය.
"ගෙවීම් ගැන පසුව බලමු මහත්මයා. කෝ ගමු බලන්න ඔය ලියමන"
ඝන මුද්‍රිත කඩදාසියක් වීරවංශ මහතා හෝම්ස් අත තැබීය. සාමාන්‍යයෙන් කරන පරිදිම හෝම්ස් සිය අත් කාචයෙන් පරීක්ෂණය ඇරඹීය.
"හෝම්ස් මහත්තයා. මම එහෙනම් ගිහින් එන්නම්. පුලුවන් තරම් ඉක්මනට මට ඔය වැඩේ කරලා දුන්නොත් ලොකු උදව්වක්. හමුවීම සතුටක්." මා දෙසද සැකයෙන් මෙන් බලමින් අමුත්තා නික්ම ගියේය.
"මේ ලියුම් කවර මුද්‍රිත කඩදාසි මම හොඳට අඳුරනවා වොට්සන්. මේවා පාවිච්චි වෙන්නේ ධවල මන්දිරේ විතරයි"
"දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ හෝම්ස්, එතකොට මේ හාදයා කිව්වේ ඇත්තක්ද? ඔහුගේ ජීවිතයට තර්ජනයක්වත්ද?"
"ඒ ටික හොයාගන්න තමයි වොට්සන් අපි මේ රහස් කේතය විශ්ලේෂණය කල යුත්තේ. කෝ බලමු."
කහ පැහැති හිස් කඩදාසියක හරි මැදට වන්නට පහත සඳහන් පරිදි මුද්‍රණය කර තිබුනි.
370HSSV-0773H
හෝම්ස්ගේ මුහුණේ ඇඳී ගියේ සිනහවක සේයාවකි. රහස් භාෂා සිය ගණනක් පිලිබඳ සිය දැනුමෙන් හෝම්ස් දුටුවනම රහස් කේතය හඳුනාගත්තා විය යුතුය. නමුත් ඔහු ඒ බැව් මගෙන් සැඟවීමට උත්සාහයක් දරණ බවද මට දැනුණි. හෝම්ස් නිකරුණේ මෙසේ හැසිරෙන්නෙකු නොවේ. වෙනත් පරීක්ෂණවලදී මෙන් නොව, මේ අවස්ථාවේදී හෝම්ස් මාගේ පිටවීම බලාපොරොත්තු වන බව මට ඉවෙන් මෙන් වැටහුනි.
මම හෝම්ස් ඇමතුවෙමි.
"මම හරියටම හවස 6.00 ට මාගේ රෝගියෙක් මුනගැසීමට නියමිතයි හෝම්ස්. පරීක්ෂනයේ ප්‍රගතිය මටත් දන්වන්න."
"හොඳයි වොට්සන්. මතක ඇතුව ඔබේ කබාය රැගෙන යන්න. එලියෙ හරිම සීතලයි. සුබ රාත්‍රියක් වොට්සන් "
************************************************ *********
දින තුනකට පමන පසු මට හෝම්ස්ගෙන් බේකර් වීදියට පැමිණෙන ලෙස පණිවිඩයක් ලැබුණි. රහස් කේතය පිලිබඳ ගැටලුව නැවත මතකයට පැමිණි බැවින් මම හැකි ඉක්මනින් බේකර් වීදියේ අංක 221 බී නවාතැන වත පැමිණීමි. මගේ මිත්‍රයා සිටියේ ශ්‍රී ලංකාවේ ටෙලිවිශන් නාලිකාවක් නරඹමිනි.
"ආ වොට්සන්. බලන්නකෝ මේ හාදයාගේ කතාව. අහන් ඉන්න ආස හිතෙනවා"
ස්වාධීන රූපවාහිනිය නම් වූ නාලිකාවේ කතා කරමින් සිටියේ දින තුනකට පෙර සජීවීව දුටු අමුත්තාය.
"බලන්න මිත්‍රවරුනි, අපි ඇමෙරිකාවට ගහනකොට, අපි බටහිරට ගහනකොට සමහරුන්ට රිදෙනවා. ඔව්ව්... රිදෙන්න තමයි අපි ගහන්නේ. ඔබාමට කොච්චර රිදිලද කියනවනම් මාව සල්ලි වලට ගන්න හැදුවා. දැන් ඔය ඩොලර් කාක්කෝ කියයි මේක බොරුවක් කියලා. මෙන්න සාක්ෂි.... " 
ඔහු අර රහස් පණිවිඩය ඔසවා යටිගිරියෙන් කෑ ගසයි. මම හෝම්ස් දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණේ වූයේ මඳ සිනහවකි.
නාලිකාවේ කැමරාකරුවෝ රහස් කේතය විශාල කර පෙන්වති.
370HSSV-0773H
"
මේක මට එව්වේ හොර රහසේ. අපරාදේ කියන්න බෑ මේක විසඳලා දුන්නේ සුප්‍රකට රහස් පරීක්ෂකයෙක් වෙන ෂර්ලොක් හෝම්ස් මහත්තයා. තවත් සැක සංකා තියෙනවද? මේකෙන් කියන්නේ මොකක්ද මිත්‍රවරුනි... මම කට වහනවානම්, ඇමෙරිකාවට නොබැන ඉන්නවානම් හත් වෙනි මාසේ හත් වනිදා තුනේ පැය වෙද්දි ස්විස් බැංකු ගිණුමකට ඩොලර් මිලියන 370ක්... ඔව් 370ක් දාලා දෙන්නම්ලු. මගේ මවු බිම ඩොලර් වලට පාවල දෙයි කියලා හිතනවානම් ඔබාමට වැරදිලා මිත්‍රවරුනි.... "
හෝම්ස් රූපවාහිනිය ක්‍රියා විරහිත කර මලක් ඔතන්නට පටන් ගත්තේය. මම හොරැහින් බලනු දුටු හෝම්ස් පිලිතුරු දුන්නේය.
"පුෂ්පේ මුදලාලි දුන්න බඩු ටිකේ අන්තිම ෂොට් එක ඕං. ලංකාවේ මිනිස්සු ගංජා පාවිචිචි කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ දැනුයි වොට්සන්. මලක් නොගහා මේ කතා අහන් ඉන්නේ කොහොමද මනුස්සයෙක් "
"ඇයි හෝම්ස් මිනිහා කියන්නේ බොරුද?"
"නෑ වොට්සන්. මම තමයි ඔය කතාව මිනිහට කිව්වේ. මිනිහට ඕනි කලෙත් ඔය වගේ කතාවක් තමයි."
"ඒ කියන්නේ රහස් කේතයේ ඇත්ත අදහස ඒක නෙවෙයිද? ඒක ආවේ ධවල මන්දිරෙන් නෙවෙයිද?"
"මේක එවලා තියෙන්නේ ඔබාමා තමයි. හැබැයි එතන කිසිම රහස් කේතයක් නෑ"
"එහෙනම්???"
"හොඳට බලන්න වොට්සන්. මිනිහ මේක කියවලා තියෙන්නේ උඩ යට මාරු කරලා"
HELLO - A******E
"අම්මා ගහයි බැට් එකෙන් හෝම්ස්" මට සිනහා පහල විය.
"ඒ වුනාට හෝම්ස් ඔහේ මිනිහා ගැන කියපු ඔක්කොම වැරදුනා. කොටින්ම මිනිහව අඳුනගන්න බැරි උනා. ඒක ඔහේ වගේ සුප්‍රකට කෙනෙක් අතින් වෙන්න බැරි අත්වැරදීමක් හෝම්ස් "
"වොට්සන් වොට්සන්... මම බොරු කිව්වේ හිතා මතා මිනිහව රවට්ටන්න. මිනිහගේ දිව දැකලත් මිනිහව අඳුරගන්න බැරි උනානම් මම ෂර්ලොක් හෝම්ස් වෙන්නේ කොහොමද "
හෝම්ස් ත්‍රෛලෝක විජයපත්‍ර සුව විඳින්නට පටන් ගත්තේය

අය වැය

මා හදිසියේම බේකරි වීදියේ වූ හෝම්ස්ගේ නිවහනට ගොඩ වදින විට වේලාව සවස 6ට පමණ විය. මාගේ මිත්‍රයා හාන්සි පුටුවේ ඇල වී දුම් වලාවකින් වැසීගත්වනම බර කල්පනාවක නිමග්නව සිටී.
"හෝම්ස්" මම නිහඬතාවය බින්දෙමි. 
"අය වැය බැලුවේ නැද්ද? ටවුන් එකේ රතිඤ්ඤත් පත්තු කරලා තිබ්බේ" 
ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි නමුදු පිළිතුර ලෙස ලැබුනේ දුගු දුම්රොටුවක් පමණි. ගැඹුරු පරීක්ෂණ සිදුවීම් විසඳන විට හෝම්ස්ගේ මෙවන් හැසිරීම් ඉසේ කෙස් ගනනට දැක ඇති බැවින් මාගේ මිත්‍රයාගේ පරීක්ෂනය ගැන දැනගනු රිසියෙන් මම කාමරය පුරා සක්මන් කලෙමි. ඔහුගේ පසෙකින් වූ ටීපෝවේ සවුකොලයක් මත වූ දේ දැකීමෙන් මා පුදුමයට මෙන්ම දුකට පත් උනෙමි. 
" දෙයියනේ හෝම්ස්, අය වැයෙන් මෙච්චර සහන දෙද්දී තමුසෙට දුම්කොලයක් ගන්න සල්ලි නැද්ද ඕයි? මේ මඤ්ඤොක්කා කොළ වේලලා ගහන්නේ?"
මහ හඬින් සිනාසුනු හෝම්ස්, "අය වැයෙන් සහන හම්බු වෙන්න මම තමුසේ වගේ රජයේ සේවකයෙක් නෙවෙයිනේ වොට්සන්" "අනික බං මේ මඤ්ඤොක්කා කොළ නෙවේ. ත්‍රයිලෝක විජයපත්‍ර" මහ හඬින් සිනාසෙමින් ඔහු යමක් පවසන්නට විය.
"එක්කෝ හිනාවෙලා ඕක කියපං, නැත්තම් කියල හිනාවෙයන්, මගුල" මට ඉබේටම කියවිණි. 
"හරි හරි, වොට්සන්ට මතකද මම පහුගිය මාසයක් විතර අතුරුදන් වෙලා හිටියා? "
"මොකෝ මට අමතක. මම හැම ඉරිදම වගේ පොලේ ආපු ගමන් මේ පැත්තේ ආව. හඩ්සන් අක්කගෙන් ඇහුවම කිව්වා දැන් දවස් ගානක ඉඳන් ආගිය අතක් නෑ. මාස ගානකින් ගෙවල් කුලී ගෙවලත් නැතුව මාරු වෙලාද කොහෙද කියල"
" ඇති ඇති, වෙලාවකට බලං ගියාම තමුසෙත් ගෑනියෙක්ට හපන්නේ වොට්සන්. අනුන්ගේ රෙදිමයි අපුල්ලන්නේ. ඒක නෙවේ මම ඒ මාසෙම හිටියේ තණමල්විල පැත්තේ"
"අහ් එහෙමද? එහෙනම් ඒ පැත්තේ ගංජා හේන් ඔක්කොම අල්ලලා දෙන්න ඇති."
"පොඩ්ඩක් හිටාන්කෝ බන් පනින්නේ නැතුව මම සීන් එක කියල ඉවර වෙනකං" එවර හෝම්ස්ගේ ස්වරය තරමක් දැඩි වූ බැවින් මම මුනිවත රැක්කෙමි.
"ඒ පැත්තේ ඉන්නවා පුෂ්පේ මුදලාලි කියල ඩයල් එකක්. මිනිහ තමා මල් ලෝකේ මහා බුංගරාජයා ආවේ රොන් සොයා, සඳුන් උයනේ සේ ඉඳිමූකෝ ගී ගයා. ටන නන ටනං නනන් නනන් නනන්..... " පුටුවෙන් නැගිටගත් හෝම්ස් නටන්නට විය. මගේ මිත්‍රයා හොඳටම ට්‍රැක් අවුට් නමුදු කලින් දුන් වෝනින් එක සිහි කරගත් මම ඕ.ටී කිරීමට නොගියෙමි. මද වෙලාවකින් සන්සුන් වූ හෝම්ස් නැවතත් කතාව පටන් ගත්තේය. 
" ඔන්න ඔය පුෂ්පේ මුදලාලි කියන මනුස්සයා තමා එහේ ලොකුම මල් බිස්නස් කාරයා."
" ඒ කිව්වේ කතරගමට නෙලුම් මල් යවනවද?" එවර මට නොපැන සිටීමට නොහැකි විය.
" නෙද්දකින් මීමා. නෙලුම් මල් නෙවේ යකෝ. ත්‍රයිලෝක විජයපත්‍ර, ගංජා ගංජා" 
මට විලිලජ්ජාවේ සන්තෝසේ බැරිවිය.
" ඉතින් ඒ මනුස්සයා ලඟකදී ඉඳලා යවන ලෝඩ් ඔක්කොම ගැන ගමේ කවුරුහරි එකෙක් පොලීසියට ඔත්තුව දෙනවලු"
"ඉතිං ? "
" ඒ මනුස්සයා මෙහෙට ඇවිත් වැළපෙන්න ගත්තා කොහොමහරි මේ ඔත්තුව දෙන එකාව අල්ලලා දෙන්නය කියලා. ඉතින් මම පහුගිය මාසේ පුරාවටම මහන්සිවෙලා ඔත්තුව දෙන එකාව පුෂ්පේ මුදලාලිට අල්ලලා දුන්නා. ඊයෙත් මුදලාලි මේ පැත්තේ ආපු වෙලාවේ දීල ගිය අලුත්ම බඩු තමා මේ." 
"දෙයියන්පල්ලා හෝම්ස් තමුසේ දැන් හොරුන්ටද සපෝට් කරන්නේ?"
"මේ බලනවා වොට්සන්, අපි මැරීගෙන මංකොල්ලකාරයෝ, අපරාධ කාරයෝ අල්ලනවා. මොකද්ද වෙලා තියෙන සෙතේ? කවුරු හරි ඇමති කෙනෙක්හරි මන්ත්‍රී කෙනෙක් හරි මැදිහත් වෙලා උන්ව එලියට දානවා. නීතියක් නැති රටේ අපි අහවල් කෙන්ගෙඩියක්ද ඕයි රකින්නේ? අනිත් එක දැන් ඔය වැඩේ නිසා මිනිස්සුත් තමන්ට මොන වැරැද්ද සිද්ද උනත් කට පියාගෙන ඉන්නවා මිසක් ඉස්සර වගේ අපිව හොයන් එන්නේ නෑ අපරාධ කාරයෝ අල්ලගන්න. අපිත් ජීවත් වෙන්න එපැයි බන්. උබටනම් ඩිස්පැන්සරියක් හරි තීනවා. මට එහෙමවත් නෑනේ බන්. තේ පොල් රබර් තීනවා කියලද? අඩු තරමේ සමෘධිය වත් නෑනේ බන් මට."
" සමෘධිය නෙවේ දැන් ජන සවිය" මම ඔහුව නිවැරදි කළෙමි"
"මොන මගුල හරි" 
මගේ හෑන්ඩ් පෝන් ඒකට වයිපරේගෙන් ඇමතුමක් ලැබුණු බැවින් හොම්ස්ගෙන් සමුගෙන යන්නට නැගී සිටියෙමි. 
"වොට්සන් " හෝම්ස්ගේ හඬ බාල වී ඇත. 
"ඇයි මචං ?"
"බෑග් එකේ තීන බූන්දි ටික දීල පලයන්කෝ"
"කොහොමද බන් දැනගත්තේ" ඔහුගේ විමර්ශන හැකියාව ගැන පුදුමයට පත් වෙමින් මම විමසුවෙමි
"උඹ පොලේ එන හැමදාම පවුලට බූන්දි ටිකක් ගෙනියන බව මට හොයාගන්න බැරිනම් මොකටද බන් මම රහස් පරීක්ෂණ වැඩ කරන්නේ."

http://thahanamwachana.blogspot.com/2014_11_01_archive.html